ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇති වන පිළිකා
ඩිම්බ කෝෂ ආශ්‍රිත ව ඇති වන පිළිකා ස්‌ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා අතර බහුල පිළිකා ප්‍රභේදයකි. මේ පිළිකා ප්‍රභේදය සහිත රෝගීන් ගෙන් හරි අඩක් පමණ ම වයස 65ට වැඩි රෝගීන් ය.
ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවලට හේතුකාරක ලෙස අඩු වයසින් ආර්ථවය ආරම්භ වීම සහ වැඩි වයසකින් අර්ථවය නිමා වීම, පළමුවැනි දරු උත්පත්තිය ප්‍රමාද වීම (Age of first pregnancy), නොයෙකුත් හේතූන් මත හෝමෝන ප්‍රතිකාර ලෙස ලබාගැනීම (HRT) සහ ජානගත හේතූන් දැක්‌විය හැකි වේ. ජානගත හේතූන් සහ ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා අතර සම්බන්ධතාව පිළිබඳ ප්‍රසිද්ධිය වැඩි වී ඇති නමුත් සමස්‌ත ප්‍රතිශතයක් වශයෙන් එහි බලපෑම 10%කට අඩු වේ. ඩිම්බකෝෂවල ඇති වන පිළිකා සෛල, ප්‍රභේද ගණනාවකට අයත් නමුත් 50%ක පමණ දක්‌නට ලැබෙනුයේ Serous carcinoma ගණයට අයත් පිළිකා වේ.
ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා මුල් අවධි තුළ හඳුනාගැනීමට නොයකුත් ක්‍රම අත්හදා බලා ඇති නමුදු ඵලදායී ලෙස එලෙස හඳුනාගැනීමට ක්‍රමයක් දැනට නොමැත. ජානගත හේතුන් (උදා-BRCA1, BRCA2) සොයාගෙන ඇති ස්‌ත්‍රීන්ට ශල්‍යකර්මයක් මගින් ඩිම්බකෝෂ ඉවත් කිරීම මගින් පිළිකා ඇති වීමේ අවදානම අඩු කළ හැකි වේ.
බොහෝ විට ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සොයාගන්නා අවස්‌ථාවේ ම උදරය තුළ ව්‍යාප්ත වී ඇත. මෙවන් අවස්‌ථාවල දී රෝගියා ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව මූලික ශල්‍යකර්මයක් මගින් පිළිකා සෛල හැකිතාක් ඉවත් කිරීම නිර්දේශ කෙරේ. මුල් අදියර ලෙස එලෙස ඉවත් කිරීම අපහසු නම් රසායනික චිකිත්සාව උපකාරයෙන් ශල්‍යකර්මයකට සුදුසු තත්ත්වයකට පත් කරගත හැකි වේ.
උදරය තුළ ව්‍යාප්ත වූ පිළිකාවක් ප්‍රතිකාර තුළින් සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවත් ශල්‍යකර්මයේ ගුණාත්මකභාවය විසින් රෝගියා කෙතරම් කලක් ජීවත් කළ හැකි ද යන්න තීරණය කරනු ලැබේ.
ශල්‍යකර්මයකින් පසුව ද රසායනික චිකිත්සාව ලබා දීම මගින් පිළිකාව නැවත හිස ඔසොවන කාලය පමා කළ හැකි ය. සාමාන්‍යයෙන් මේ සඳහා රසායනික චිකිත්සා වර්ග 2ක් භාවිත කරනු ලැබේ. මාස 5ක පමණ කාලයක් මෙලෙස ප්‍රතිකාර කරනු ලබන අතර පිළිකාවේ ව්‍යාප්තිය සහ ශල්‍යකර්මයෙන් ඉවත් කළ නොහැකි පිළිකා ප්‍රමාණය අනුව ජෛවීය කාරක (Biological agents) මගින් ද ප්‍රතිකාර කළ හැකි වේ. එසේ නිර්දේශ කෙරුණ හොත් වසරක පමණ කාලයක් ප්‍රතිකාර කළ යුතු වේ.
ප්‍රතිකාර අතරතුර සහ ප්‍රතිකාර නිම වීමෙන් පසුව කාලානුරූපව කරනු ලබන පර්යේෂණ මගින් පිළිකාව නැවත ව්‍යාප්ත වේ දැයි පරීක්‌ෂා කළ යුතු වේ. ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකාවල හැසිරීමේ නිර්ණායකයක් ලෙස Ca125 නැමැති ලේ පරීක්‌ෂණය උපකාර කරගත හැකි වේ. රෝගය හඳුනාගන්නා අවස්‌ථාවේ Ca125 අගය ඉහළ අගයක පැවතියේ නම් මූලික ප්‍රතිකාරවලින් පසුව මේ පරීක්‌ෂණය මගින් පිළිකාව නැවත පැමිණ හිස ඔසවන්නේ දැයි පරීක්‌ෂා කළ හැකි වේ. එසේ සැක ඇති විට CT Scan පරීක්‌ෂණයක් මගින් ඒ බව සනාථ කරගත යුතු වේ.
නැවත ව්‍යාප්ත වූ පිළිකාවකට රසායනික චිකිත්සාව ආධාරයෙන් ප්‍රතිකාර කළ යුතු වේ. එලෙස යොදාගත හැකි රසායනික චිකිත්සා වර්ග කිහිපයක් ම ඇති අතර ප්‍රතිකාර කරන අතරතුර මාස කිහිපයකට වතාවත් කරනු ලබන CT Scan පරීක්‌ෂණයක් මගින් ප්‍රතිකාරවල ඵලදායිභාවය සනාථ කරගත යුතු වේ. BRCA1, BRCA2 ආදී ජානගත හේතුන් සහිත රෝගීන් හට ප්‍රතිකාර කිරීමට PARP inhibitors (PARP නිෂේධක) නැමැති ඖෂධ වර්ගය ද උපකාර කරගත හැකි වේ.
පිළිකා නැවත ව්‍යාප්ත වීම ආම්භ වූ පසු දෙවැනි වරටත් සැත්කමකට භාජන කිරීම මඟින් රෝගියා ගේ ආයු කාලය දීර්ඝ කළ හැකි බවට සාධක නැත.
මා ගේ පෙර පළ වූ ලිපිවලින් පැහැදිලි කළ ආකාරයට පිළිකා රෝගියකුට ප්‍රතිකාර කිරීමේ දී රෝගියා ගේ ජීවිතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්‌විය යුතු වේ. වේදනාවන් සමනය කිරීම සඳහා ප්‍රබල වේදනානාශක භාවිතය මෙන්ම, රසායනික චිකිත්සාව හේතුකොට ඇති වන අතුරු ආබාධ පාලනය කිරීම, පෝෂණ මට්‌ටම මනාව පවත්වාගැනීම මීට අදාළ වේ.
ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇති වන පිළිකා ජානගත හේතු මත ඇති වේ දැයි පරීක්‌ෂා කිරීමට අදාළ නිර්නායක ඇත. රෝගියකු එම පර්යේෂණවලට සුදුසු දැයි අදාළ පිළිකා රෝග පිළිබඳ වෛද්‍යවරයකු සමග සාකච්ඡා කළ යුතු වේ. ඒ මගින් පිළිකා සෑදීමට වැඩි ප්‍රවණතාවක් ඇති ලේ නෑයන් ද හඳුනාගත හැකි අතර ඔවුන් තුළ පිළිකා ඇති වීම අවම කිරීමට අවශ්‍ය පියවර ගත හැකි වේ.
No comments:
Post a Comment