අපේ රට තුළ ළදරු පිටිකිරි තහනම් කරන්න වටිනවා..



ළදරු පිටිකිරි තහනම් කරන්න වටිනවා

(ඒ. එම්. කීරගල)

අපේ රට තුළ ළදරු කිරි පිටි වර්ග තහනම් කරනවා නම් ඉතා හොඳ බවත් එහෙත් කිසියම් සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්‌ ලෙස එය සිදු නො වන බවත් කාසල් වීදිය කාන්තා රෝහලේ නව ජන්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික මවුකිරි දීමේ සතියට අදාළව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී ය. ඔහු එහි දී සිය අදහස්‌ පළ කළේ මේ අයුරිනි.

"අපේ රට තුළ ළදරු කිරි පිටි වර්ග තහනම් කරනවා නම් ඉතා ම හොඳයි. නමුත් එහෙම දෙයක්‌ වෙන්නේ නැහැ. එසේ නො වීමට හේතුව ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්‌. ලෝකයේ ආයුධ, ඖෂධ ආදිය සම්බන්ධ මාෆියා පවතිනවා සේ ම කිරිපිටි සම්බන්ධව ද ජාත්‍යන්තර මාෆියාවක්‌ ක්‍රියාත්මක වනවා. ළදරුවන්ට කුඩා අවධියේ දී පිටිකිරි දීම කිසිසේත් ම නො කළ යුතු ය යන්න විද්‍යාත්මක මතයයි. නමුත් අවාසනාවකට වගේ එය සම්පූර්ණයෙන් සාර්ථක වෙලා නැහැ"

මිනිසා වෙනත් සතුන් ගේ කිරි බීමට උත්සාහ ගත්තේ ඉතා ම ඈත අතීතයේ දී බවත්, එය සමහර අවස්‌ථාවල දී අසාර්ථක වූ බවත් ඔහු වැඩිදුරටත් කී ය.

සැබැවින් ම දැන් මිනිසා එළු කිරි හා හරක්‌ කිරිවලට ගිජු ව සිටිය ද ඔහු මුලින් උත්සාහ කළේ වඳුරන් ගේ රිලවුන් ගේ හා අලින් ගේ කිරි බොන්නට ය.

වඳුරන්, රිලවුන් හා අලින්, හරකුන් තරම් මෝඩ නො වූ නිසා මිනිසාට ඔවුන් ගෙන් කිරි හොරකම් කරන්නට නොහැකි වූ බව ද වෛද්‍ය සමන් කුමාර මහතා පෙන්වා දුන්නේ ය. තමා නම් මේ කිරි හඳුන්වන්නේ 'ගොං කිරි' කියා යෑයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

සැබැවින් ම උපතේ සිට මාස 6ක්‌ දක්‌වා දරුවාට මවුකිරිවලින් පමණක්‌ පෝෂණය විය හැකි ය.

දරුවාට පිටිකිරි දීම අනිටු විපාක සඳහා ඇති අවදානම වැඩි කරවයි.

ඇදුම, අසාත්මිකතාවන්, කනේ ආසාදන, ශ්වසන ආසාදන, යකඩ ඌණතා, නීරක්‌තිය, ආහාර දිරවීමේ අපහසුතා, නින්දේ දී ඇති වන හුස්‌ම ගැනීමේ ආබාධ, ළමා වියේ ඇති වන පිළිකා වර්ග, දන්තාබාධ සහ දන්ත විකෘති, පාරිසරික අපද්‍රව්‍යයන්ට නිරාවරණය වීම (දරුණු වීෂබීජ සහ හානිකර රසායන ද්‍රව්‍ය), අධි රුධිර පීඩනය සහ හෘද රෝග, දරුවාට මවුකිරි නො දෙන්නේ නම් ඇති විය හැකි අනිටු විපාක වේ.

දියවැඩියාව, අධි බර සහ ස්‌ථුලතාව, අස්‌ථි දුර්වල වීම (ඔස්‌ටියෝපොරෝසිස්‌), පියයුරු, ඩිම්බකෝෂ හා ගර්භාෂ පිළිකා, අධි රුධිර පීඩනය හා හෘදායාබාධ වැනි රෝගවලට වැඩියෙන් ගොදුරු වීමේ අවදානම මවුකිරි නො දුන් දරුවන්ට ඇති වේ.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මේ මාධ්‍ය හමුවේ දී දෙසුමක්‌ පැවැත්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වන විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්‌ඩාර මහතා මෙසේ පවසා සිටියේ ය.

"මැදි ආදායම් උගුලට අසු වූ අප රටත් මානව ප්‍රාග්ධනය අමතක කරලා. ඒ නිසා, මවුකිරි දීම ගැන අඩු සැලකිල්ලක්‌ දක්‌වනවා. මිනිසුන් ප්‍රාථමික සෞඛ්‍ය මට්‌ටමේ දී රෝගී වීම වැළැක්‌වීමට මවුකිරි වැදගත් වෙනවා. ඒත් අද අම්මට වඩා විශ්වාසය තබන්නේ පිටිකිරි ගැනයි, වැස්‌සියන් ගැනයි. මාධ්‍ය වශයෙන් මිනිසුන් ගේ ආකල්ප ශක්‌තිමත් කළ යුතුයි කිරි දීමේ හා බීමේ අයිතියට අදාළවයි."

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ධම්මිකා රොවෙල්, කාසල් වීදිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ නලීන් ප්‍රේමදාස, ද සොයිසා රෝහලේ නව ජන්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිෂානි ලුකස්‌ මහත්මිය යන අය ද මාධ්‍ය හමුවට සහභාගි වූ හ.

මේ අතර යුනිසෙෆ් සංවිධානය විසින් රටවල් 194ක දත්ත විශ්ලේෂණය කරමින් කරන ලද අධ්‍යයනයක දී (Global Breasfeeding Scorecard) පෙනී ගොස්‌ ඇත්තේ මවු කිරි දීම සම්බන්ධයෙන් රටවල් 23ක්‌ පමණක්‌ සතුටුදායක මට්‌ටමක පවතින බවයි.

එනම් මවුවරුන් සියයට හැටකට වැඩි ප්‍රතිශතයක්‌ මාස හයක්‌ පුරා මවුකිරි පමණක්‌ දෙන්නට පෙලඹෙන රටවල් ඇත්තේ 23ක්‌ පමණක්‌ බවයි. ලංකාව ද ඒ රාජ්‍යයන් 23ට ඇතුළත් ව තිබීම අපට ආඩම්බරයට කරුණකි. එසේ වුව ද තවමත් ශ්‍රී ලංකාව වුව ද 100%ක සාර්ථකත්වයක්‌ මීට අදාළව පෙන්වා නැත.

විශේෂයෙන් ම පෞද්ගලික ආයතනවල සේවයේ යෙදෙන කිරි දෙන මවුවරුන්ට දරුවන්ට කිරි දීම සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට සිදු ව ඇත.

මෙවර මවුකිරි දීමේ සතිය වෙනුවෙන් විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත Tim Sutton කියා සිටින්නේ මවුකිරි දීම යනු ළමයකු වෙනුවෙන් කළ හැකි ඉතා ම ඵලදායි ආයෝජනය නිසා ඒ ගැන මුළු ජනතාව ගේ ම අවධානය යොමු විය යුතු බවයි. එසේ ම ලංකාවේ මවුවරුන් ගෙන් 82%ක්‌ පූර්ණ ලෙස මවුකිරි දෙන ප්‍රවර්ගයට ඇතුළත් වීම විශාල ආඩම්බරයක්‌ බව ද ඒ තත්ත්වය තවත් ඉදිරියට යොමු කළ යුතු බවත් ඔහු කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Razia Pendse අනුව ළමයින් ගේ හා මවුවරුන් ගේ නරෝගී බව රැකගැනීම සඳහා මවුකිරි දීම අත්‍යවශ්‍ය වන අතර මේ කරුණ ගැන මවුවරුන් මෙන්ම සමස්‌ත සමාජය ද දැනුවත් ව සිටිය යුතු ය.



Share:

No comments:

Post a Comment

Ordered List

  1. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit.
  2. Aliquam tincidunt mauris eu risus.
  3. Vestibulum auctor dapibus neque.

Sample Text

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation test link ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Definition List

Definition list
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
Lorem ipsum dolor sit amet
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.

Support

Need our help to upload or customize this blogger template? Contact me with details about the theme customization you need.

Pages